බදියුදීන්ගෙ ගෙදර අපයෝජනයේ! දුක්බර ඇත්ත

මේක කොච්චර කාලකණ්ණි රටක්ද? රිෂාඩ් බදියුදීන්ගේ ගෙදරදී මියගිය දැරිය ගැන කල්පනා කරද්දී අපට හැඟුණා. විශේෂයෙන් ඒ දැරියට වෙච්ච දේ වගේම, එතැනින් එහාට මේක මාධ්‍යවලින් විකාශය කරපු හැටි, මිනිස්සු මේ ගැන කතා කරන හැටි දැක්කම අපට හිතුණා… මේ රට ගැන බලාපොරොත්තු තියන්න බෑ.

මේ තක්කඩින්ට ළමයි ගැන සතපහක වුවමනාවක් නෑ. මේ සිස්ටම් එකම හැදිල තියෙන්නෙම දිගින් දිගට  ළමයි අපයෝජනයට ලක් කරන්න.

කරුණු පූජනීයයි. අපි කරුණුවලට දේවත්වය දෙනවා. ඒ වගේම අනවශ්‍ය ජජ්මන්ට්වලට යන්නෙ නෑ. අපි මේ සිදුවීම ගැන වගේම මේ සිදුවීමෙන් එහා ලංකාවේ කාලකණ්ණි වැඩිහිටියන් යට හැදෙන ළමයින්ගේ ඛේදවාචකය ගැන වෙන කිසි කෙනෙක් නොකීව දේවල් කියනවා.

ඒ වගේම මේ කතාවෙදීත් අපි අදහස් කරන සම්පූර්ණ කතාව තේරෙන්නේ අන්තිම වාක්‍ය කිහිපය බැලුවොත්.

මේක අහිංසක සීලවන්ත රටක අහම්බෙන් සිද්ධවෙච්ච තනි සිදුවීමක් නෙවෙයි. මේක මේ කාලකණ්ණි රටේ හැමදාම සිද්ධවෙන දෙයක්.. වැරදිකාරයන්ගේ ජාතිය මුස්ලිම් වන නිසා සමහර අය නින්දෙන් නැගිට්ට අවස්ථාවක්. මේ කතන්දරේ ඉවසිල්ලෙන් අහන්න බැරි නං.. ඔබට රටේ සිද්ධවෙන කිසි දෙයක් අදාල නැතිව ඇති.

පොලිස් දෙපාර්තමේන්තුවෙ දත්ත අනුව 2020 අවුරුද්දේ අවුරුදු 16ට අඩු ළමයින් රවට්ටගෙන අපයෝජනය කරපු සිදුවීම් 1185ක් වාර්තා වෙලා තියෙනවා. බලහත්කාර අපයෝජන 305ක් වාර්තා වෙලා තියෙනවා. මතක තියාගන්න.. මේ වාර්තා වූ සිදුවීම්.

මේ සිදුවීමේදී මීඩියා ඇතුළු සමහර තක්කඩි පුද්ගලයන් හංගන කතාවක් තියෙනවා. මේ සිද්ධිවලට ජාතියක් නෑ. ආගමක් නෑ. මේකට අදාලව මේ ලෝකෙ ඉන්නෙ ජාතීන් දෙකයි. ළමයින්ට අපරාධ කරන, ඒවාට උඩගෙඩි දෙන සහ යටගහන අය එක ජාතියක්.

ඒවාට විරුද්ධ වෙන අය තව ජාතියක්. එක ජාතියක් නරකයි. තව ජාතියක් හොඳයි.

කණගාටුයි කියන්න, මේ රටේ රජය සහ රාජ්‍ය සිස්ටම් එක කියන්නේ නරක ජාතියට අයිති අය.

ඒ වගේම මේ සිද්ධිය අල්ලගෙන මුස්ලිම් උං ඔහොමයි කියල පටන් අරන්, ජාතිවාදය අවුස්සන උං.. බදියුදීන් එක්ක තරහට විතරක් මේ සිද්ධිය ගැන කතා කරන උං ඔක්කොම දැන හෝ නොදැන අයිති වෙන්නෙ නරක ජාතියට.

මොකද, මේ වෙලාවෙ ලංකාවේ මන්ත්‍රීවරයෙකුගේ, හිටපු ඇමතිවරයෙකුගේ, පක්ෂ නායකයෙකුගේ ගෙදර සිද්ධවෙච්ච අපරාධයක් නිසා හැබෑ ප්‍රශ්නය කතා කරන්න චාන්ස් එක ඕපන් වෙලා තියෙනවා. මුස්ලිම් විරෝධයක් අල්ලගෙන අනුංගෙ දේශපාලන කැම්පේන් ගොඩදාන්න හදන අය ඒ චාන්ස් එක සම්පූර්ණයෙන් යටගහනවා.

අපි සරල උදාහරණයක් කියන්නං. මුලින්ම කියන්නං. ළමයා වෙනුවෙන් කියාගෙන පාරට බැහැලා දැන් කෑගහන කීදෙනෙක් මේ සිද්ධියෙ සැබෑ ප්‍රශ්න යටගහලා මෝඩ ප්‍රශ්න අහනවද?

උදාහරණයකට බදියුදීන්ගෙ ගෙදරට ලාම්පුතෙල් මොකටද වගේ ප්‍රශ්නයක් නිතර අහන සමහර සිංහල ජාතිකවාදියෝ යටගහන වැදගත් ප්‍රශ්න මොනවද?

සිදුවීමෙන් පස්සේ අපරාධ පරීක්ෂණය ආරම්භ වූ වෙලාව, මන්ත්‍රීවරයාගේ නිවසේ සී.සී.ටී.වී දර්ශන, අපරාධ ස්ථානයට පොලිස් කණ්ඩායම මුලින්ම ළඟා වූ වේලාව, රෝහලට යන අතරේ හා ඉන්පසු දැරිවිය යම් දෙයක් කිව්වා නම් ඒවාට අදාළ ඇසින් දුටු සාක්ෂි වගේ වැදගත්ම කාරණා තර්ක විදියට මතුවෙන්නේ නෑ.

සිද්ධිය වුණේ බොරැල්ලෙ වුණත් මාධ්‍යයෙන් නිතරම වාර්තා කරන්නෙ පොලිසිය ඩයගම කැරකෙනවා කියල. ඉෂාලිනී ගියපු ඉස්කෝලෙ ප්‍රින්සිපල්ව හම්බුවෙන්න කඩිනම් වෙච්ච පොලිසිය ඒ දරුවාට අපරාධය වෙච්ච තැන ප්‍රධාන භාරකාරිනිය වෙච්ච බදියුදීන් නෝනගෙන් කටඋත්තරයක් ගන්නෙ ඊයෙ.

මෙතැන අවුල තියෙන්නෙ මුස්ලිම් ගෙවල්වලම නෙවෙයි. අවුල තියෙන්නෙ සිංහල බෞද්ධ ජාතික රාජ්‍යයේ. අවුරුදු හැත්තෑවක් රට පාලනය කරපු සිංහල-බෞද්ධ නායකයන් හදපු අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණයේ.

ඔබ දැනගන්න ඕනෑ කාරණා තුනක්.

පළවැනි එක තමයි ද්විතීයික අපයෝජනය කියන එක. ළමා අපයෝජනයක් කියන එක නීතිමය වශයෙන් විග්‍රහ කරද්දී, ඒක ළමයයෙක්ගේ පැවැත්මට හානි කිරීම සහ පැවැත්ම සඳහා අවශ්‍ය දේවල් නොකර සිටීම.

එතකොට මේ රටේ සමාජය.. සමහරවිට ඔබත් ළමයින්ගේ ආරක්ෂාවට සහ වැඩීමට අවශ්‍ය පසුබිම සකසන්න දායක නොවී, ද්විතීයික අපයෝජනයක් කරනවා වෙන්න පුළුන්.

දෙවැනි කාරණය තමයි අපයෝජනය සහ අපචාරය කියන දෙකේ වෙනස. අපයෝජනය කියන්නේ ළමයෙක්ට වෙන අපරාධයක්. අපචාරය කියන්නේ ළමයෙක් අතෙන් සිද්ධවෙන දෙයක්. ඒත් ලංකාවේ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්න ප්‍රධාන ආයතනය වන ළමාරක්ෂක අධිකාරිය පවා මේ සිද්ධිය රිපෝට් කරද්දී ළමා අපචාරය කියන වැරදි වචනය පාවිච්චි කළා. මාධ්‍ය හැම එකක්ම ඒක පාවිච්චි කළා.

තුන්වැනි එක 1995 අංක 22 කියන දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය. ජීඑල් පීරිස්ගේ කාලයේ සිද්ධ වුණ හොඳ දේවල්වලින් එකක්ලු මේ සංශෝධනය.

ළමයින්ට අදාල වැරදි ගැන තමයි ඒකේ තියෙන්නෙ.

ඒත් අපේ කතාවට වැදගත් වෙන්නේ ඒ සංශෝධනය අනුව ළමයෙක් අපයෝජනයට ලක් වුණාම, ඒ ළමයාගේ අනන්‍යතාව හෙළි කරන අයට විරුද්ධව නඩු දාලා අවුරුදු දෙකක් හිරේ දමන්න පුළුවන්. මේ නීතිය පහුගිය කාලයක් තිස්සේ මීඩියාවලින් කැඩුවා. අපි මේ කියන මොහොතේත් කඩමින් ඉන්නවා.

අපි ද්විතීයික අපයෝජනය ගැන කිව්වනෙ. සමහර මීඩියා ළමයාව ආරක්ෂා නොකර සිද්ධි රිපෝට් කරන නිසා, නැවත නැවතත් ළමයි අපයෝජනය වෙනවා.

යම් ළමයෙක් මැරුණත්, ඒ ළමයා එක්ක පොඩි කාලෙ ඉඳන් ආශ්‍රය කරපු උදවියගෙ මතකයට ඒ ළමය යන්න ඕනෑ අහවල් අපරාධය එක්කද? නැත්නම් ඒ ළමයගෙ ජීවිතය එකකද? ළමයගෙ ෆොටෝ පෙන්න පෙන්න, මුළු ඉතිහාසයම සඳහන් කරමින් ඒ ළමයා ගැන ඉතිරිවෙච්ච එකම දේ වන.. මතකය.. අපරාධයකින් වහන්නෙ ඇයි?

අපේ රටේ අපරාධ පරීක්ෂණ යාන්ත්‍රණය සහ ඒක ගැන පවා පළවෙන මතවල ඇති දේශපාලනය තමයි අපි එයින් අදහස් කළේ. මේක මේ වෙලාවෙ ඇත්තටම ළමා ආරක්ෂාව පැත්තෙන් රේස් වෙලා ආවත් ලංකාවෙ දේශපාලනයට අදාළව ගත්තත් ලොකු ප්‍රවෘත්තියක්.

එක පැත්තක ඉන්නෙ සිංහල බෞද්ධ ජාතිකවාදීන්ගෙ පරම සතුරෙකු වෙච්ච බදියුදීන්. අනෙක් පැත්තෙ ඉන්නෙ යාන්තන් අවුරුදු දාසය පිරුණු ගැහැණු දරුවෙක්. දුප්පත් ගැහැණු දරුවෙක්. එක පැත්තකින් මුස්ලිම් බදියුදීන්. අනෙක් පැත්තෙන් දෙමළ විතරක් නෙවෙයි ක්‍රිස්තියානි ලබ්ධික ගැහැණු දරුවෙක්.

එක පැත්තකින් බැසිල් රාජපක්ෂ එක්ක ඩීල් කියන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ ඉඳලම කර්මාන්ත හා වාණිජ ඇමැතිකම දරපු බදියුදීන්. අනෙක් පැත්තෙ ඉන්නෙ මේ වෙලාවෙ විමල් වීරවංශගෙ පවා අනුකම්පාව ලබන කොටින්ම රිසානා නෆීක් කියන දැරිවිය විදෙස්ගත මෙහෙකාර සේවයට ගිහින් මරාදමද්දි ඒක නතර කරගන්න බැරි වුණු ඩිලාන් පෙරේරා කියන හිටපු ඇමැතිවරයාගෙ පවා අනුකම්පාවට ලක්වන ගැහැණු දරුවෙක්.

පූජාවලියෙ ස්ටයිල් එකට වගේ අපි මෙහෙම ලිව්වේ ඇත්තටම මේ සිදුවීමේ තිබෙන දේශපාලනය අයිරනි එක පොඩ්ඩක් ඔබට ආරම්භයේදිම අඟවන එක හොඳයි කියල හිතුණු නිසා.


මේ වෙද්දි අපිට යම් අවබෝධයක් තිබෙනවා රිෂාඩ් බදියුදීන් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙ නිවසේ වූ මේ සිදුවීම ගැන. මාධ්‍ය වාර්තාවලට අනුව හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචි දැරිය පහුගිය අවුරුද්දෙ අවසාන භාගයේදි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට අයත් කොළඹ බෞද්ධාලෝක මාවතේ නිවෙසට මෙහෙකාර සේවයට එනවා.

දැරියව මන්ත්‍රීවරයාගෙ ගෙදරට ගෙනැත් බාරදෙන්නෙ බ්‍රෝකර් කෙනෙක්. ඔහුගෙ නම පොන්නයියා.

මීට පෙර ඔහුගේ දුවත් මේ නිවසේ මෙහෙකාර සේවයේ නිරත වෙලා තිබෙනවා. නිවසේ ණය බර දරාගන්න බැරි නිසා ආර්ථික පීඩාවෙන් පවුලේ උදවිය නිදහස් කරන්න ආපු තමන්ගෙ දරුවාව පහුවෙද්දි තමන්ට බලන්නවත් දුන්නෙ නෑ කියලා ඒ දරුවාගෙ අම්මා කියනවා. අවස්ථා හතරකදි මන්ත්‍රීවරයාගෙ නිවසට ආවත් දුව බලන්න අවස්ථාව දුන්නෙ නෑ කියල අම්මා කියනවා.

බ්‍රෝකර්වරයාට දැරිය සම්බන්ධ කරදීම සම්බන්ධයෙන් අතට රුපියල් පන්දාහකුත් ඇයගෙ අම්මට දෙන්න කියලා පසුව විටින් විට ඔහුගේ ගිණුමට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලකුත් දුන්නා කියල ඇයගෙ අම්ම කියනවා. ඒ වගේම දරුවාට කතා කරන්න දුරකථනයෙන් ඒ ගෙදර ඉන්න තවත් සේවකයකුට කතා කළාම මැඩම්ව සම්බන්ධ කරල දෙනවලු.

මේ මැඩම් කියන්නෙ කාටද?  බදියුදීන්ගෙ නෝනට.

හැබැයි ඒ ගන්න කෝල්ස් කිසිම වෙලාවක පෞද්ගලික කෝල් විදියට නෙවෙයි අරගන්න පුඵවන් වෙලා තියෙන්නෙ. ඒ හැම කෝල් එකක්ම ස්පීකර් දාලා තමයි කතා කරන්න වෙලා තියෙන්නෙ.

අන්තිමට කතා කරපු අවස්ථාවෙ දැරිය කියල තියෙනවා මැඩම් පහර දෙනවාය එහේ ඉන්න බෑය කියල. එතකොට අම්මා කියන විදියට අම්මා ඇවිත් දරුවව එක්කගෙන යන්න ඉන්න අතරේ තමයි මේ අනතුර වෙන්නේ.

වඩාත් බරපතල කාරණය වෙන්නෙ දැරිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා කරන අනාවරණය. ඇය දිගින් දිගටම කලක් තිස්සෙ අපහරණයට ලක්වෙලා කියල ඔහු අනාවරණය කරනවා.

මේ ළමා අපයෝජනය කියන එක ලංකාවේ දරුණු අර්බුදයක්. පිළිකාවක්. ඒත්.. බලයෙ හිටපු නායකයන් කිසිදා උනන්දුවක් නොදැක්වු විෂයක්.

ඒත් 2020 අවුරුද්දේ ජාතික ළමාරක්ෂක අධිකාරිය ගැන විශේෂ විගණකාධිපති වාර්තාවක් එළිදැක්වුණා.

ඒකේ තියෙනවා,

‘වර්තමාන සමාජය තුළ සිදුවන ළමා අපයෝජනයන් සාපේක්ෂව දිනෙන් දින ඉහළ යන බවට මාධ්‍ය වාර්තා තුළින් අනාවරණ කිරීමත්, ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යාම හා ඊට සාපේක්ෂ පැමිණිලි විසඳීමට ගනු ලබන  ක්‍රියාමාර්ගවල දුර්වල ත්තවයක් පවතින බවත්..’

ඒ වගේම වාර්තාවට පසුබිම කියන කෑල්ලෙ තියෙනවා,

‘ළමා අපයෝජන වැළැක්වීමත්, එවැනි අපයෝජනවලට ගොදුරු වූ ළමුන්  ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් සකස් කිරීමත් අධිකාරිය පිහිටුවීමේ අරමුණ වූ බවත් වසර 20කට පසුව එය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අධිකාරිය අපොහොසත් බව නිරීක්ෂණය වූ බවත්’

ඕං ඕකයි අපේ රටේ කාලකණ්ණිකම. ඒ කාලකණ්නිකම එතැනින් එහාට, ඒ වාර්තාවේ ගණං හිලව්වල තියෙනවා. සටහන් කණ්ඩායමේ තිරය පිටුපස ඉන්න රේඛා නිලුක්ෂි හේරත් ලීව ලිපියකින් අපි කරුණු උපුටන්නං. නිකං මේ ඉලක්කම් ටික අහන්න… ඇඟ හිරිවැටෙන්නෙ නැද්ද බලන්න.

‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් අංශය වෙත 2010 සිට 2019 ජුනි මාසය දක්වා පැමිණිලි 48,361 ක් ලැබී තිබුණ අතර, ඉන් පැමිණිලි 413 ක පමණක් විමර්ශන අවසන් කර මහාධිකරණය වෙත අධිචෝදනා ගොනු කිරීම සඳහා නීතිපති වෙත යොමු කර තිබුණි. එලෙස නීතිපති වෙත යොමු කරන ලද ගොනු අතරින් 185 ක් සදහා මහාධිකරණයේ නඩු පවරා ඇත. ඒ අනුව ක්ෂණිකව නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවා ඇත්තේ පැමිණිලි අතරින් සීයට 1ක් පමණි. යැවූ ඒවා අතරින් අඩක්වත් මහාධිකරණයේ නඩු පැවරීමට යොමු කර නැත.

අප පෙර සඳහන් කළේ ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් අංශයට ලැබුණු පැමිණිලි සංඛ්‍යාවය. 1919 දූරකථන අංකය, ළමා ආරක්ෂක අධිකාරියේ දූරකථන අංක හා අනෙකුත් ක්‍රමවේදත් ඇතුළත්ව 2011 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා වූ වර්ෂ 09 ක කාලය තුළ ලැබී ඇති මුළු පැමිණිලි 79,259 ක් විය. එම පැමිණිලි අතරින් 42,075ක් තවම විසඳා නැත.

ඒ අතර 2011 දී ලැබී ඇති පැමිණිලි 3,249ක් විසඳා නැත. 2012 දී ලැබුණු පැමිණිලි 2,812ක් විසඳා නැත. 2013දී ලැබුණු පැමිණිලි 5,504ක් විසඳා නැත. 2015දී ලැබුණු පැමිණිලි 5,783ක් විසඳා නැත. ඒ සියල්ල අවුරුදු පහක් හෝ ඊට වැඩි පැමිණිලිය.’

එතැනින් එහාට නඩු පැවරීමත් ඉතා දරුණු විදියට දුර්වලයි.

‘2009 සිට 2019 සිට වර්ෂ 10 ක් තුළ නීතිපති වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි සංඛ්‍යාවෙන් සීයට 55කට නඩු පවරා නොතිබුණු බවත්..’

දැන් කෙනෙක් හිතයි මේක මේ කොහෙවත් යන ආයතනයක තියෙන අඩුවක්. ඕකට සමාජයක් වගකියන්න ඕනෑ නැති බව.

ඕක තමයි තමන්ගෙ වගකීමෙන් ගැලවෙන මුග්ධම කතාව.

මේකත් එක්ක ගැටගැහුණු පක්ෂ දේශපාලනයේ ඇත්තටම ගත්තොත් හැමදේම තමන්ගෙ වාසියට ගන්න හදන කුණුවෙච්ච පක්ෂ දේශපාලනයේ හා ඒකත් එක්කම කාලයක් තිස්සෙ ගැටගැහුණු අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියේ දේශපාලනයේ ස්වභාවය කැත විදියට එළියට පනිනවා.

ආණ්ඩුව පැත්තෙන් වඩාත්ම හිරිකිත පොලාපැනීම අපිට පෙනුණෙ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාගෙන්. ඩිලාන් විපක්ෂයෙන් අහනවා දැරිය ගැන නිස්සද්ද මොකද කියල.

දැන් මේක අහන්නෙ කවුද? ඩිලාන්.

ඇත්තටම ඩිලාන් මේ ගැන කතා කිරීම හරි වැදගත්. මොකද ඔහු විෂය භාර ඇමැතිවරයකු හැටියටම මේ රටේ දරුවන්ගෙ ආරක්ෂාව සහතික කරගන්න බැරිවීම ගැන ඓතිහාසික වාර්තාවක් තියපු කෙනෙක්. ඔය පාර්ලිමේන්තුවේදීම. ත්‍රිකුණාමලයෙ මුතූර්වල මේ විදියටම කර්කෂ පසුබිමකින් ආපු රිසානා නෆීක් කියන දරුවා 2013 ජනවාරි 09 සවුදියේදි මරණ දඬුවමට ලක්වුණේ ලංකාවෙ විදේශ රැකියා නියාමනයේ අසමත්බව නිසා.

අද මේ කියන දැරිය තමන්ගෙ ගෙදර ණයතුරුස් ටික පියවගන්න කොළඹ හතට ආවා වගේම තමයි එදා රිසානා තමන්ගෙ නංගිලා මල්ලිලාට උගන්නන්න ඕනෑ කියල 2005දි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ සවුදි ගිහින් තිබුණේ. ඇය විදෙස්ගත වෙද්දි වයස අවුරුදු 14යි.

සේවය කරපු තැන දරුවාට කිරිපොවද්දි දරුවා මියයාමේ සිද්ධියක චූදිතයා වෙන්න රිසානාට සිදුවුණේ මේ අතරෙ. දරුවාගෙ මරණයට රිසානා වගකිව යුතු බවට සවුදි අධිකරණය 2007දි තීරණය කළා.

අවුරුදු හයක් තිස්සේ රාජපක්ෂ ආණ්ඩුව ඒ දැරිය ලංකාවට ගේන්න අසමත් වුණා. හරියටම 2013 වසරෙ ජනවාරි 9 වැනිදා උදේ රිසානා නාෆික්ව එල්ලුවා.

ඒත් ඇඟ හිරිවැටෙන ඛේදවාචකය තමයි, ඒ එල්ලීමෙන් පස්සෙත් මේ ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේ උදාරම් කතාවක් කළා. මොකක් කියලද? කොහොම හරි රිසානාව බේරාගන්නව කියල විපක්ෂයට සද්දෙකුත් දාගෙන.

මොකද ඔහු තමයි විදේශ රැකියා ඇමැති. හැබැයි විෂය බාර ඇමැතිවරයා එහෙම පොරටෝක් දුන්නට අඩුම ගානෙ ඒ දරුව ඒ වෙද්දිත් ජීවතුන් අතර නෑ කියල දන්නෙ නෑ. අන්න එහෙම අය තමයි අද ඉෂාලිනී ගැන කිඹුල් කඳුළු හලන්නෙ.

ඒ වගේම අපි මේ සිද්ධියේදි කතාකරන්නම ඕන තව පැත්තක් තමයි බදියුදීන් කිව්ව ගමන් සෝෆාවල වනල තිබ්බ සිවුරු පටලෝගෙන සී.අයි.ඩී එකට දුවන භික්ෂු දේශපාලනය. අපි කලින් කිව්ව දත්ත සලකද්දී, මෙච්චර කාලයක් නිහඬව හිටපු දේශපාලනය.

ලංකාවෙ ළමා අපරාධ සම්බන්ධයෙන් සාපේක්ෂව වැඩි පැමිණිලි මූලාශ්‍රයක් තමයි පන්සල් කියන්නෙ. අපි මේ දැන් කිව්වෙ හාමුදුරුවරු ඔක්කොම එක වගේ කියල නෙවෙයි. කොහෙත්ම නෑ.

එක සිද්ධියක් අල්ලගෙන ඒ ජාතියේ හැමෝම ඒ වගේ කියල කියන එක අන්තිම වැරදි දෙයක්.

වව්නියාවෙ සෙත්සෙවණ ළමා නිවාසය ඇටඹගස්කඩවල කල්‍යාණතිස්ස කියන නම් මේ අයට මතකද දන්නෑ.

අපට කිසිසේත්ම අමතක කරන්න බෑ දැන් ඉන්න ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සහභාගී වූ ගුවන් විදුලි වැඩසටහනක්. මීට කලින් විකාශය වූ එකක්. එතැනට වැඩියෙන්ම අඬ අඬා ඇමතුම් දුන්නෙ සාමණේර හිමිවරුන්ගෙ අම්මලා.

ඒත්, අද කතා කරන හිමිවරුන් ඒ සිද්ධි යටගහන්න උත්සාහ කළා. ඒ විතරක් නෙවෙයි එවැනි සිදුවීම් ගැන කතා කරපු රන්ජන් රාමනායකගෙ ආගම අල්ලගෙන බෞද්ධ හිමිවරුන් අප්‍රසන්න කැම්පේන් එකක් කළා.

අපරාධ පරීක්ෂණ ක්‍රියාවලිය එහෙම වෙද්දි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මොනවද කරන්නෙ කියල තමයි අපට ඊළඟට අහන්න වෙන්නෙ. අධිකාරියෙ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මාර සහතිකයක් දුන්නා. ඒ තමයි පොලිසිය හරියට පරීක්ෂණේ කරන්නේ නැත්නම් අපි ඒක අපේ බාරයට ගන්නවලු.

සමහරුන්ට නොතේරුණාට මහාචාර්යතුමා නොකියා කිව්වෙ මහජන බදු මුදලින් ළමයි වෙනුවෙන් පඩි කන ළමාරක්ෂක අධිකාරිය දැන් මේ ගැන පරීක්ෂණයක් කරන්නෙ නෑ කියල.

පොලීසිය දැන් පරීක්ෂණ කරනව කියල සැප පුටුවල ආතල් එකේ ඉඳං ඉඳල හරියන්නෙ නෑ.

රුපියල් අනූඑක්දාහක බේසික් එකටයි ජීවන වියදම් වෘත්තිය දීමනා දුරකථන වියදම් ප්‍රවාහන දීමනාවලටත් අමතරව සිටින්ග්ස්වලටත් ගන්න සල්ලි මේ විදියට අපරාධවලට ගොදුරු වෙන මහජනයාගේම තමයි.

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතෙන් ලැබුණු මැන්ඩේට් එකවත් දැනගෙන හිටියා නම් මේ කතා කියන්නෙ නෑ.

ජාතික ළමාරක්ෂක අධිකාරිය ලංකාවේ අධිවේගීම ආයතනය වෙන්න ඕනෑ. ළමයින්ගේ ආරක්ෂාව, ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා, ඔවුන්ගේ අනාගතය ගැන හිතන නීතිරීති තමයි ලංකාවෙ අධිවේගයෙන්ම හැදෙන්න ඕනෑ. ළමයින්ට අදාල කේස් එකක් ආවම අවුරුද්දක් වගේ කෙටි කාලයක් ඇතුළෙ නඩු ඉවරවෙන සිස්ටම් එකක් එන්න ඕනෑ. මොකද… ළමයගෙ ජීවිතේ ඒ චැප්ටර් එක ඉක්මනින් ඉවර කරලා.. මේ සමාජෙට හුරු වෙන්න.

ඕවා කරන්න පොඩි පොඩි ආයතන ප්‍රධානීන්ට තනියම බෑ. ඒ ගැන දැඩිව හිතන්න ඕනෑ ලංකාවෙම විධායක ජනාධිපති පුටුවල ඉන්න සර්ලා මැඩම්ලා. ඒත් එයාලා කවදාවත් මේවා හිතල නෑ.

විශේෂ අධිකරණ හැදීමෙ ඉඳන් නීති කීයක් හැදිල නැද්ද?

ඒත් අවුරුදු හැත්තෑවක් ගිහින්, මේ කාලකණ්ණි මන්ත්‍රීවරු දවසක් දෙකක් සාකච්ඡා කරලා ළමයින්ව සේවයේ යෙදවීමට අදාල අවම වයස නීතිගත කළේ නෑ. අදටත් කරලා නෑ. ළමයින්ට අදාල නීති කොච්චර හැදෙන්න තියෙනවද? පෝට් සිටි පනත සම්මත වුණා කියල ඒ ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ.

ගමක පුංචි කඩේකට ගියොත්.. එළවළු කඩේකට වගේ. නැත්නම් කොටුවෙ කඩේකට ගියොත්. අවුරුදු දාසයට අඩු ළමයි කී දෙනෙක් අත්උදව් දෙනවද? උඩරට දෙමළ දරුවන් බොහොමයක්. ඒ හැරුණම ඕනෑ ජාතියකට අයිති බාලවයස්කාර ළමයින්.

ඔව්.. දුප්පත් මුස්ලිම් ළමයිනුත් ඇතුළුව ළමා ශ්‍රමිකයන් ලංකාවෙ ඕනෑ තරම්.

ඒ අයගේ ශ්‍රමය ලාබෙට ගන්න පුළුවන්. පැය අටට වඩා හරස් ප්‍රශ්න නැතිව ඔවුන් වැඩ කරනවා. ඒකට ශරීර ශක්තියත් තියෙනවා, ඒ වගේම ලෝකයේදී ඒ ළමයි පුංචි නිසා කාටවත් විරුද්ධ නොවී එයාලා වැඩ කරනවා.

ඒ නිසා සමහර අය ළමා ශ්‍රමය හූරාකන්න ඇබ්බැහි වෙලා. ළමයි විතරක් නෙවෙයි.. අවුරුදු දාසය පැන්නත්, අවුරුදු විසිපහ විතර වෙනකල් සොච්චං පඩිවලට තරුණ ශ්‍රමය හූරාකන රටක් මේක.

ඉතින් තරුණයන්ට අධ්‍යාපන අවස්ථා දෙන්න, ශ්‍රම අයිතිය තහවුරු කරන්න අලුත් නීතිරීති වගේම අලුත් සිස්ටම් තොග ගාණට හඳුන්වාදෙන්න ඕනෑ රටක් මේ.

ඊටත් අමතරව ළමයින්ට රස්සා කරන්න අවශ්‍ය පසුබිම හදන්න ඕනෑ රටක් මේ.

අපි එකක් දන්නව.. ගෝඨාභය මහත්තයා ගේන කොතලාවල ආරක්ෂක විද්‍යාල පනත මේ මියගිය සහෝදරියට යහපතක් කරන්නෙ නෑ. එයාගේ අධ්‍යාපන අවශ්‍යතා කොතලාවල පනතෙන් ඉටු වෙන්නෙ නෑ.

අධිකරණ හැදීම කෙසේ වෙතත්, කලින් කීව විගණන වාර්තාවෙ තියෙනවා ළමයෙක් යම්කිසි අපරාධයකට අදාලව පොලිස් භාරයේ වගේ තිබ්බොත්, ඒ ළමයින්ව ප්‍රවාහනය කරන්නේ බන්ධනාගාරගත අපරාධ සැකකරුවන් එක්ක කියලා. ඒ නිසා ඒ ප්‍රවාහනයේදී, පොලිස් භාරයේදී ළමයි තියාගනිද්දීත් අපචාර වෙන ප්‍රවණතාවක් ඒ වාර්තාවෙ තියෙනවා.

හරි.. අපි අන්තිමට කියන්නෙ මොකක්ද? දැන් මේ සිද්ධිය ගැන කතා කරන මිනිස්සුන්ට කටවහගන්න කියලද? ආ.. උඹල කතා කරන්න එපා. මේකෙදී කතා කරන උං අර කලින් ඒවයෙදී කතා කළේ නෑ. ඒ නිසා මේ ගැන කතා කරන්නත් අයිතියක් නෑ. ඕක ජාතිවාදය. වගේ දේවල්ද අපි මේ කියන්නෙ.

නෑ!

අපි ඉල්ලන්නෙ.. කරුණාකරලා මේ ගැන ඔබට හැකි උපරිමයෙන් කතා කරන්න. අපි කතා කරන සිය ගණන් සිදුවීම්වලටත් යුක්තිය ඉටු වෙන්න මාර්ගය පෑදෙනවා මේ වගේ ප්‍රසිද්ධ සිදුවීමකට යුක්තිය ඉටු වුණොත්.

ඒත්.. ඒ  කතා කරද්දී මතක තියාගන්න. මේ ප්‍රශ්නය හරි පැත්තට යොමු කරන්න. රටේ දරුවන් දහස් ගණන් අපචාරයට ලක් වෙනවා. වහල් සේවයේ යෙදවෙනවා. ජීවිත විනාස වෙනවා. මේ දරුවන් වෙනුවෙන් වූ හරි සිස්ටම් එකක් අපට නෑ. ඒක බිඳිලා.

මේ රටේ පාලකයන්ට මේ ගැන උනන්දුවක් නෑ. දේශපාලන හතුරෙක්ට යමක් වුණ ගමන් එළියට බැහැලා සද්දෙ දැමීමෙන් එහාට මේ ප්‍රශ්නය ගෙනියන්න.

රේඛා නිලුක්ෂි හේරත්/ අංජන කොළඹගේ