මාධ්‍ය ප්‍රචාරය කලේ සංස්කරණය කළ හඬපටයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ගාර්ඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති සමඟ සිදු කල බව  පවසමින් මාධ්‍ය හරහා ප්‍රචාරය වූ දූරකථන හඬපටය සංස්කරණය කළ හඬපටයක් බවත් ඇගේ වැඩ තහනම ඉවත් කර ඇය යළි සේවයේ පිහිටුවන ලෙසත් රාජ්‍ය සේවා කොමිසමට නියෝග කර ඇත.

මේ බව අනාවරණය වී ඇත්තේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඇගේ වැඩතහනම් කිරීමට එරෙහිව 2020 ඔක්තෝබර් 05 වැනි දින පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට අභියාචනයක් ගොණු කර තිබුණි.

විනිසුරු එන්.ඊ දිසානායක, ඒ. ඥාණදාසන් සහ ජී.පී අබේකීර්ති යන මහත්වරුන් ඉදිරියේ මෙම අභියාචනය විභාග වී ඇති අතර මෙම තීන්දුව ලබා දී ඇත්තේ 2021 ජූලි 14 වැනිදාය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.අයි ගුණතිලක මහත්මිය ඉදිරිපත් කර ඇති  මූලික පරීක්ෂණ කමිටුවට වාර්තාවේ සඳහන් වී ඇත්තේ අදාල  හඬපටය ස්ථාන 10කින් සංස්කරණය කර ඇති බවය.

2019 සැප්තැම්බර් 20 වැනිදා රූපවාහිනී නාලිකා මගින් සහ යූටියුබ් නාලිකා ඇවන්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතා සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතර සිදුවුණා යැයි පවසමින් ප්‍රසිද්ධ වූ දූරකථන සංවාදයක් පදනම් කර ගනිමින්  නීතිපතිවරයා 2019 සැප්තැම්බර් 25 වැනිදා  නිකුත් කරන ලද ලිපියකින් නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කරමින් සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කර තිබුණි.